Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මේ සැරේ ගෙවන සල්ලි මදි
සංචාරවලදී ක්‍රීඩක බිරියන්ට බිස්නස් ක්ලාස් ටිකට් නෑ
දරුවන් රැගෙන යාම බෑ
ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු අස්සන් කිරීමේ අවුලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් අතර නව වාර්ෂික කොන්ත්‍රාත්තු අස්සන් කිරීමේ කටයුතු දිනෙන් දින කල්යෑමේ ලකුණු පහළ වී ඇති අතර ඊට ප්‍රධානම හේතුව පසුගිය වසරට සාපේක්‍ෂව මෙවර ගිවිස ගැනීමට නියමිත කොන්ත්‍රාත්තු මුදල අඩුකර ඇති නිසා බවද වාර්තා වේ.

මෙකී සංචිතයේ ක්‍රීඩකයන් 30 දෙනා කාණ්ඩ 5ක් යටතේ වර්ගීකරණ කොට ඇති අතර පළමු කාණ්ඩයට අයත් ක්‍රීඩකයන්ට ඇමෙරිකානු ඩොලර් 125,000ක වාර්ෂික කොන්ත්‍රාත්තු මුදලක් ගෙවීමට අදාළ ගිවිසුම් කෙටුම්පත් කර ඇතැයි දැනගන්නට ඇත. මෙය පෙර වසරට වඩා ඩොලර් 40,000ක පමණ අඩුවීමකි. මේ අයුරින්ම අඩුවීම් සහිතව ඉතිරි කාණ්ඩ 4 යටතේ පිළිවෙළින් ඩොලර් 80,000 සිට 20,000 දක්වා වාර්ෂික කොන්ත්‍රාත්තු මුදල් ගෙවීමට යෝජිතව ඇතත් මෙසේ කොන්ත්‍රාත්තු මුදල් අඩුකිරීම සම්බන්ධව ක්‍රීඩකයන්ගේ දැඩි විරෝධය පළවී ඇති බවද වාර්තා වේ.

නමුත් ක්‍රීඩකයකු පෙන්වන දක්‍ෂතා මත විශේෂ දීමනා ගෙවීමේ ක්‍රමයක් නව ගිවිසුම් මඟින් හඳුන්වා දී ඇති අතර මෙවර ක්‍රීඩකයන් කාණ්ඩ 5 යටතේ නම්කර ඇති ආකාරයටද විරෝධතා මතුවී ඇතැයි පැවැසේ.

දැනගන්නට ඇති පරිදි ඉහළම කාණ්ඩයට ඇතුළත් කර ඇත්තේ ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා රංගන හේරත් යන තිදෙනා පමණි. ඔවුන් තිදෙනා ඊයේ සවස ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා සමඟ විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත. තවද නව කොන්ත්‍රාත්තුවලට ඇතුළත් කාරණා අතර ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍රයක් ක්‍රීඩකයකුගේ බිරියට නොමිලේම හිමිවීමේ පෙර තිබූ වරප්‍රසාදය මෙවර අහෝසි කර ඇත. එසේම සංචාරය අතරතුර තම දරුවන් රැගෙන යෑමට තිබූ අවස්ථාවද ඉවත් කර ඇති බව පැවැසේ.

එහෙත් ක්‍රීඩකයාගේ පවුලේ සාමාජිකයන්ට වසරට එක් වරක් ආසියානු සංචාරයක් සඳහා නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර හිමිවෙයි.

එළැඹෙන සිම්බාබ්වේ ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන අඟහරුවාදා (25දා) පිටත්ව යෑමට නියමිත බැවින් අදාළ ක්‍රීඩකයන් ලබන ඉරිදාට (23දාට) පෙර කොන්ත්‍රාත්තු අස්සන් කළ යුතු බවට තීරණය වී ඇතැයිද දැනගන්නට ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජාතික ක්‍රිකට් සංචිතයට අදාළ ක්‍රීඩකයන් තිස් දෙනා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (20දා) පැවැත්වීමට නියමිත බවද පැවැසේ.

සිරිනාම රාජපක්‍ෂ




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S