Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

“අපේ පවුලේ විසිදෙනකු පමණ පසුගිය පෝය දිනයේදී ත්‍රිරෝද හතරකින් මූදේ නාන්න බළපිටියේ ජම්බුවත්ත වෙරළ තීරයේ මුහුදට ගියා. එහිදී අපි මූදට බැස නාන්න පටන් ගත්තා. ඒ වෙනකොට වෙලාව සවස තුනට පමණ ඇති. අපි නාමින් සිටින විට තවත් පිරිසක් මුහුදේ නාමින් මූදිල්ලා ගෙඩියක් අරගෙන විසිකරමින් එය අල්ලමින් විනෝද වුණා. එසේ සිටින විට අපේ කණ්ඩායමේ හතර දෙනෙක් රළ පහරට හසුවී මුහුදේ දියඹට ගසාගෙන ගොස් ටික වේලාවකින් මුහුදේ ගිලී නොපෙනී ගියා” යැයි විනෝදය පිණිස මුහුදේ නාන්නට ගොස් මියගිය හතර දෙනාගෙන් දෙදෙනකුගේ මරණ සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්‍ෂණයේදී සාක්කි දෙමින් පිටියගේ තිළිණි මධුෂානි ශානිකා නමැති අය පැවැසුවාය.
මෙම සිද්ධියෙන් මියගොස් සිටියේ උක්වත්ත ලියනගේ චාන්දනී (34) සහ ලක්ෂානි වාසනා ද සිල්වා (15) යන දෙදෙනාය. විතාරණ චාමික සේනාරත්න මෙන්ඩිස් (18) සහ පේදුරු හේවගේ නදිත් මධුෂාන් කුමාර යන දෙදෙනාගේ මළ සිරුරු මෙතෙක් සොයාගෙන නොමැති බවද වාර්තා විය. චාන්දනී සහ වාසනා නමැති තරුණියන්ගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ පරීක්‍ෂණය කොස්ගොඩ හදිසි මරණ පරීක්‍ෂක පේ.සී. සේනාධීර මහතා විසින් බළපිටිය මූලික රෝහලේදී ඊයේ (18දා) පවත්වනු ලැබීණි.

එහිදී තවදුරටත් සාක්‍ෂි දුන් තිළිණි මධුෂානි ශානිකා නමැති තැනැත්තිය මෙසේද පැවැසුවාය.

“මියගොස් සිටි උක්වත්ත ලියනගේ චාන්දනී නමැති අය මගේම සහෝදරියක්. අපේ පවුලේ විසි දෙනකු පමණ 17 වැනිදා සවස මූදේ නාන්න යන්න කතා කර ගත්තා. ඒ සඳහා ත්‍රිරෝද රථ හතරකින් අපි විසි දෙනකු පමණ බළපිටිය ජම්බුවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට ගියා. ඒ වනවිට සවස තුනට පමණ ඇති. මියගිය මගේ අක්කා වන චාන්දනී නමැති අය විවාහකයි. ඇගේ සැමියා පිටරට සමාගමක නැවක සේවය කරනවා. ඒ දෙදෙනාට අවුරුද්දයි මාස තුනක පුතෙක් සිටිනවා. අක්කාගේ සැමියා මාස හයකට වරක් ලංකාවට එනවා. මමත් චාන්දනී අක්කාත් එයාගෙ ළමයාත් පදිංචි වී සිටින්නේ පතිරාජ පෙදෙසේ තියෙන අපේ මහ ගෙදරයි.

අපි සියලු දෙනාම පාහේ මුහුදට බැස නාන්න පටන් ගත්තා. අපි පැය දෙකක් පමණ නාමින් විනෝද වුණා. අපේ තවත් පිරිසක් පපුව මට්ටමට මුහුදු ජලයේ බැස මූදිල්ලා ගෙඩියක් අරගෙන ඒමේ අත වීසි කරමින් එය අල්ලමින් විනෝද වෙමින් සිටියා. එසේ සිටින විට මියගිය අක්කා සහ තවත් තිදෙනෙකු රළ පහරට හසුවී මුහුදේ දියඹට ගසා ගෙන යන්න ගියා. එවිට මුහුදේ නාමින් සිටි අනෙක් අය ගොඩබිමට පැමිණියා. අපි ඔක්කොම කෑ ගසන්න පටන් ගත්තා. විනාඩි කීපයකින් ඒ හතර දෙනාම මුහුදේ ගිලී නොපෙනී ගියා.

අපේ කෑ ගැසීම ඇසී ඒ අසල හෝටලයක සිටි විදේශිකයකු සහ හෝටලයේ ජීවිතාරක්‍ෂක නිලධාරියකු මුහුදට පැන අක්කා සහ ලක්ෂාන් වාසනා යන අය ඔසවාගෙන ගොඩබිමට රැගෙන ආවා. ඒ සමඟම හෝටලයේ ‍ෙදාස්තර මහතකු ඇවිත් අක්කා සහ අනෙක් අය පරීක්‍ෂා කර බලා ඉක්මනින් බළපිටිය රෝහලට ගෙන යන ලෙස අපට උපදෙස් දුන්නා. ඒ අනුව අක්කා සහ ලක්ෂානි වාසනා යන අය ත්‍රිරෝද රථ දෙකකින් බළපිටිය රෝහලට රැගෙන ගියා. මම රෝහලට නොගොස් තවත් කීපදෙනකු සමඟ නිවෙසට ගියා. පසුව මට දැන ගන්නා ලැබුණා අක්කා සහ තවත් තිදෙනෙක් මියගොස් ඇති බව. අක්කාගේ මරණය ගැන මට සැකයක් නැහැ. ඇය මියගියේ මුහුදේ ගිලීමෙන් බව මම විශ්වාස කරනවා.”

මෙම පරීක්‍ෂණයේදී තිරිමාදුර සුරේෂ් සංජීව සොයිසා යන අයද පෙරුමාදුර ලක්ෂානි වාසනා (15) යන අයගේ මරණය සම්බන්ධයෙන් පැවති මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් ඇයගේ පියා වන පෙරුමාදුර ගේ‍ර්ෂන් සම්පත් ද සිල්වා (35) නමැති අය සාක්‍ෂි දෙමින් මෙසේ පැවැසුවේය.

“මම කුලී වැඩ කරමින් ජීවත් වෙනවා. මට දුවලා දෙදෙනකු සහ පුතාලා දෙදෙනකු සිටිනවා. මියගොස් සිටින ලක්‍ෂානි වාසනා අපේ පවුලේ වැඩිමල් දියණියයි. ඇය පතිරාජ මහා විද්‍යාලයේ දහය වසරේ ඉගෙනුම ලබමින් සිටියා. අපි පවුලේ අය සමඟ 17 වැනිදා මුහුදේ නාන්න යන්න කතා කර ගත්තා. අපි විසි දෙනකු පමණ ත්‍රිරෝද රථ හතරකින් බළපිටිය ජම්බුවත්ත ප්‍රදේශයේ මුහුදට ගියා. අපි නිවෙසින් පිටවෙන විට සවස දෙකට පමණ ඇති. ඒ ගමනට මමත් මගේ පුතාල දෙන්නාත් දුවල දෙදෙනාත් එක්වුණා. අපේ පිරිස මුහුදේ බැස නාමින් සිටියා. මම නාන්නේ නැතිව මුහුදු වෙරළට වෙලා හිටියා. අපේ අය පැය දෙකක් පමණ මුහුදේ නෑවා. අවසානයේ අපේ අය කෑ ගසනවා මට ඇසුණා. මම ඒ ගැන විමසා බලන්න ඒ අය නාන දෙසට ගියා. එවිට මා දුටුවා මගේ වැඩිමල් දියණිය සහ තවත් තිදෙනකු රළ පහරට හසුවී මුහුදේ දියඹ දෙසට ගසාගෙන යනවා. ඒ සමඟම මුහුදේ නාමින් සිටි අය ගොඩට ආවා. අපේ කෑ ගැසීම ඇසී එතැනට පැමිණි විදේශිකයකු සහ තවත් අයකු මුහුදට පැන මගේ දියණියත් චාන්දනීවත් ඔසවාගෙන ගොඩට රැගෙන ආවා. ඒ සමඟම එතැනට ආ ‍ෙදාස්තර මහතකු ඒ දෙදෙනා පරීක්‍ෂ කර බලා ඉක්මනින් ඒ දෙදෙනාව රෝහලට රැගෙන යන්න කියා අපට කීවා. ඒ අනුව ඒ දෙදෙනා ත්‍රිරෝද රථ දෙකකින් බලපිටිය රෝහලට රැගෙන ගියා. මමත් දුව සමඟ රෝහලට ගියා. ‍ෙදාස්තර මහත්මියක් ඒ දෙදෙනාටම ප්‍රතිකාර ලබා දුන්නා. නමුත් ටික වේලාවකින් ඒ දෙදෙනාම මියගිය බව ‍ෙදාස්තර මහත්මිය අපට දැනුම් දුන්නා. දුවගේ මරණය මුහුදේ ගිලීමෙන් සිදුවන්නට ඇති කියා මා විශ්වාස කරනවා. මරණය ගැන මට සැකයක් ඇත්තේ නැහැ.”

මෙම මරණ දෙක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ බළපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරි ‍ෙදාස්තර කේ. රුවන් ද සිල්වා මහතා සිය වෛද්‍ය වාර්තාවෙන් කියා සිටියේ මෙය මුහුදේ ගිලීමෙන් සිදුව ඇති හදිසි මරණයක් බවය. එම වෛද්‍ය වාර්තාව හා ඉදිරිපත් වූ සාක්‍ෂි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්‍ෂකවරයා තීරණය කළේ මෙය මුහුදේ ගිලීමෙන් සිදුව ඇති හදිසි මරණ බවය. මෙහි සාක්‍ෂි මෙහෙයවීම අහුන්ගල්ල පොලිසියේ පොලිස් කොස්තාපල් එච්.පී. අමරසිරි මහතා විසින් සිදුකරනු ලැබීය.

මවුපියන්ගේ නොසැලකිල්ල නිසාත් මුහුදේ අනාරක්‍ෂිත ස්ථානවල නෑමට යෑම නිසාත් මෙවැනි හදිසි මරණ කොතෙක් සිදු වුවත් ඒ ගැන මවුපියන් සහ වැඩිහිටියන් සැලකිලිමත් නොවීම නිසා වටිනා ජීවිත අකාලයේ විනාශ වන බවත් ඒ නිසා මින් ඉදිරියටවත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීමට මවුපියන් සහ වැඩිහිටියන් වගබලා ගත යුතු බවත් මරණ පරීක්‍ෂණය සිදුකළ කොස්ගොඩ හදිසි මරණ

පරීක්‍ෂක ජේ.සී. සේනාධීර මහතා වැඩිහිටියන්ට අවවාද කළේය.

අම්බලන්ගොඩ – ධර්මරත්න ගුණසිංහ / බළපිටිය – දම්සරී ලියනගේ /හිනිදුම -රවීන්ද්‍ර චන්ද්‍රලාල්




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S