Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගුවන ජයගත් ගුවන් නියමුවරියක වීමට ඇය සිහින මැව්වා ය. ඉන් නොනැවතුණු ඇය, මවු පිය උරුමයෙන් ලද ගායන හැකියාවට ඉඩදී ගායන ලොවට ප්‍රවිශ්ඨ වූවා ය. කලා කටයුතු මෙන් ම ව්‍යාපාර කටයුත්තකට ද අතගසා ඇති ඇය, රූකාන්තා - චන්ද්‍රලේඛා යුවළගේ වැඩිමල් දියණිය වන රයිනි චාරුකා ගුණතිලක ය.

* බටහිර සහ පෙරදිග සංස්කෘතිය ඔබට කුඩා කාලෙ ඉඳන්ම හුරුපුරුදුයි. මේ අත්දැකීම් ඔබේ දිවියට බලපෑවෙ කොහොමද?

මං මේ සංස්කෘති දෙකේම ජීවත් වුණා. සංස්කෘති දෙකේම හොඳ දේ මගේ ජීවිතයට ආලෝකයක් කරගත්තා. බටහිර සංස්කෘතියේ දේ ලබා ගැනීමේදී ඒක අනවශ්‍ය විධිහට වුණේ නෑ. මගේ මවුපියන්ගේ මඟපෙන්වීම නිසා ‍මට හරි දේ ජීවිතයට සමීප කර ගන්න හැකි වුණා.

* ඔබ පුංචි කාලෙදි ජීවිතයේ කවදාකවත්ම අමතක නොවන කටුකතම අත්දැකීමකට මුහුණ දුන්නා. මේ අත්දැකීම ඔබේ ජීවිතයට බලපෑවෙ කොහොමද?

මම ඒ සිදුවීමට මුහුණ දෙද්දි වයස අවුරුදු අටක් වගේ ඇති. මගේ ජීවිතයට ඒ සිදුවීම බොහෝ සෙයින් බලපෑවා. ඒත් මගේ ජීවිතයේ මට අතපසු වුණ දේවලට මං ඒක හේතුවක් කරගන්නේ නෑ. මම ඒ සිදුවීම වෙද්දි හතර වැනි ශ්‍රේණියෙ හිටියෙ. ඒ කාලෙදි මං පාසල් යන්න බෑ කියලා ඇඬුවා. පාසලට ගිහින් දැම්මත් ගේට්ටුවෙන් පනිනවා. අඬනවා. වාහනේ පස්සෙන් දුවගෙන එනවා. මං ලබපු ඒ කටුක අත්දැකීම නිසා, පාසල් ගිය වෙලාවට අම්මටයි, තාත්තටයි කවුරුහරි ඇවිත් කරදර කරාවි කියන බයෙන් මම හැමතිස්සෙම හිටියේ. ඒ විදිහට මං හැසිරුණේ ඒක නිසයි.

මේ සිදුවීමෙන් පස්සේ තාත්තා මනෝ වෛද්‍යවරයෙක් ළඟට පවා මා එක්කගෙන ගියා. ඒ වෛද්‍යවරයා කිව්වේ මං පාසල් යන්න පුළුවන් කියනකං පාසලට යවන්න එපා කියලයි. මේ සිදුවීම නිසා ම මට හතරවැනි ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු කරන්නම ලැබුණේ නෑ.

* ඔබ මුල් අවධියේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබුවත්, පසුව ඉගෙන ගත්තේ අමෙරිකාවෙ. මෙරට ශිෂ්‍යයකු ලබන අත්දැකීම්වලට වඩා එහා ගිය දැනුවත්වීම්, අත්දැකීම් ලබන්නට එහෙදි අවස්ථාව ලැබුණා කියලා ඔබ හිතනවද?

අමෙරිකාවෙ හිටිය එක හොඳයි කියා මං හිතනවා. ශ්‍රී ලංකාවෙ හිටියානම් මං ඉගෙන ගන්න එකක් නෑ. මං පුංචි කාලෙ හිටියෙත් අමෙරිකාවෙ. පළමුවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබුවෙ එහෙදි. ඒ නිසා මං එහෙ අධ්‍යාපනයට හුරු වෙලා හිටියේ. මෙහෙ ගුරුවරු උගන්වන විදිහ මට ගැළපුණේ නෑ. ඒ අයගෙන් තේරෙන්නේ නැති දෙයක් දෙසැරයකට වඩා අහන්න බැහැ. ඇහුවොත් කේන්ති යනවා. බණින‍්නේ ගොනා, මෝඩයො වගේ වචන කියලයි. ඒ රටේදි අපි ගුරුවරුන්ට ගෞරව කරනවා. ඒත් ආශ්‍රය කරන්නේ යාළුවො වගේ. ඒ නිසා තේරෙන්න නැති ඕනැම දෙයක්, ඕනැම වෙලාවක අහගන්න පුළුවන්.

* ඔබ එදා ගුවන් නියමුවරියක් වීමට ඉගෙන ගත්තා. ඒ පිළිබඳ කතා කළොත්?

මං මගේ උපාධියේ අවුරුදු තුනක් සම්පූර්ණ කරලා තියෙන්නේ. ගුවන් හමුදාවට එක්වෙන්න මගේ කැමැත්තක් තිබුණා. ඒත් එක්කම තමයි මට ගුවන් නියමුවරියක් වීමේ කැමැත්ත ඇතිවුණේ. ඒත් තාත්තා මං ගුවන් හමුදාවට යනවට කැමැති වුණේ නෑ. ඒත් පස්සේ තාත්තට දුක හිතිලා මට ගුවන් නියමුවරියක් වෙන්න කැමැත්ත දුන්නා. මං මේ පුහුණුව ලබද්දි දවසම පියාසර කරනවිට ඩොලර් 1000ක් විතර ගෙවන්න වෙනවා. ශ්‍රී ලංකාවෙ මුදලින් නම් ලක්ෂ දෙකහමාරක් වගේ මුදලක්

වැය වෙනවා. මේ පාඨමාලාවෙන් මං ඉවත්වුණේ තාවකාලිකවයි. ඉතිරි කොටස මෙහෙදි සම්පූර්ණ කරන්න හිතාගෙන ඉන්නවා.

* කුඩා කාලෙ ඉඳන්ම සංගීතය ඔබේ ජීවිතයට හුරුපුරුදු වුණත්, මේ ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වුණේ ප්‍රමාදවෙලා නේද?

පාසලේදී රඟපානවා, සිංදු කියනවා වුණත්, ඉන් පරිභාහිරව කලා කටයුතුවලට මවුපියො වුවමනාවෙන් ම අප යැව්වේ නෑ. තාත්තා කළ බොහෝ වෙළෙඳ දැන්වීම්වල මං හාමනි කියන්න පුංචි කාලෙ ඉඳන් ම ආවා. අවුරුදු 18දි තමයි තාත්තා මටම සිංදුවක් හදලා දුන්නේ. 'නීල කදුවැටියේ' කියන ගීතයෙන් තමයි මං ගායන ක්ෂේත්‍රයට ආවෙ.

* ඔබේ මව වන චන්ද්‍රෙල්ඛා පෙරේරාගේ හඬට සමාන හඬක් ඔබට තිබෙන්නේ. ප්‍රසංග වේදිකාවෙදි ඔබ ගයන්නෙත් වැඩිපුරම ඇගේ ගීත. මෙය ඔබට විතරක් අනන්‍ය වූ දෙයක් නෙමෙයි. එහෙම වෙන්නේ, මව හෝ පියා සංගීත ක්ෂේත්‍රයේ සිටින විට රසිකයන් මුල් පරම්පරාවේ ගීතම ඉල්ලන නිසාද?

මං කොහොමත් වැඩිපුර කියන්නේ මගේ ගීත. අම්මාගේ ගීත කියන්න කියලා ඉල්ලීමක් තිබුණොත් විතරයි ඒ ගීත කියන්නේ. ඒත් ඔක්කොම ගීත අම්මගෙම ගීත කියන්න කියලා කවුරුහරි කිව්වොත්, මං කියන්නේ මගේ ගීතත් එක්ක අම්මගේ ගීත කියන්නම් කියලයි. මගේ අනන්‍යතාව තියාගෙන මං අම්මගේ ගීත ගායනා කරනවා. දරුවො හොඳ නිර්මාණ කරලා තිබෙනවා නම්, මවුපියන්ගෙම ගීත කියන්න කියලා කවුරුත් කියන්නේ නෑ. මව හෝ පියා සංගීත ක්ෂේත්‍රයේ හිටියා කියලා , දරුවන්ගෙන් ඒ සිංදුම ඉල්ලන්න එතකොට කවුරුත් පෙලඹෙන්නේ නෑ. දරුවො ගීත කළේ නැත්නම් තමයි, හැමදාම මවුපියන්ගේම ගීත කිය කියා ඉන්න වෙන්නේ.

*ඔබේ පියා රෛනි චාරුකා දුව ගැන ගීතයක් කිව්වා. ඒ ගීතය ඇහෙද්දි ඔබට දැනෙන්නේ මොනවගේ හැඟීමක්ද?

තාත්තා චාරුකා සංයුක්ත තැටිය කරද්දි මට වයස අවුරුදු හයයි. එදාට දැනුණු දේට වඩා දැන් මට මේ ගීතය දැනෙනවා වැඩියි. සමහර වෙලාවට ඇඬෙනවා. මං අම්මා කෙනෙක් වුණ දවසට මේ ගීතය දැනෙන එක තවත් වැඩි වෙයි.

*ඔබ ක්ෂේත්‍රයට ඇවිත් කාලයක් ගතවුණත්, තවමත් ගීත කිහිපයයි නේද කරලා තියෙන්නේ?

මං සාමාන්‍යයෙන් අවුරුද්දකට එක සිංදුවක් වගේ තමයි කරන්නේ. මේ අවුරුද්දට එක සිංදුවක්වත් තවම කළේ නෑ.

*ඔබ අවසානයට කළේ 'නොබලා මා දිහා' කියන ගීතය. ඒ සඳහා ලැබෙන රසික ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගීතය කළේ ගිය අවුරුද්දේ. ඒකෙ රූප රචනයත් කරලයි තියෙන්නේ.

* ඔබ වේදිකා නාට්‍ය නිළියක්. ඒ ගැන කතා කළොත්?


මං අමෙරිකාවෙ හිටිද්දී වේදිකා නාට්‍ය දෙක තුනකම රඟපෑවා. මං අධ්‍යාපනය ලැබුවෙ කලාව හා සම්බන්ධ පාසලක. ඒ නිසා තමයි මට ඒ අවස්ථා උදා වුණේ.

* නිරූපණය, ටෙලි නාට්‍ය හෝ සිනමා රංගනයට කැමැත්තක් නැද්ද?


මං රංගනය පැත්තට කැමැතියි. ඒත් තවම අවස්ථාවක් ලැබුණේ නෑ. මං කැමැතිම ආබාධිත කෙනකුගේ චරිතයක් රංගනයටයි.

* ඔබේ සැමියා සංගීත කලාවට ළැදි කෙනෙක්?


එයාට ඩ්‍රම් සහ බේස් ගිටාරය හොඳින් ම වාදනය කරන්න පුළුවන්. මගේ නිර්මාණ කටයුතුවලදී එයාගෙ සහය ලැබෙනවා.

* සැමියා සහ ඔබ ව්‍යාපාරික කටයුත්තකට අතගහලා සිටින්නේ. මේ ගැන කතා කළොත්?


Party People Entertainment කියලා උත්සව අවස්ථා සංවිධානය කරන, මංගල අවස්ථාවල සංගීත කණ්ඩායම් සැපයීම වගේ කටයුතු බොහොමයක් සංවිධානය කරන කටයුතු අපේ ආයතනය මඟින් සිදු කරනවා.

* ශ්‍යාමි නදීෂා අක්කාත්, යොහාන් අයියාත්, වින්ඩි නැගණියගෙනුත් ඔබට ලැබෙන සහය කොයි වගේද?

ශ්‍යාමි අක්කා ඔස්ට්‍රේලියාවෙ පදිංචියට ගිහින් දැන් අවුරුදු අටක් වෙනවා. එයා ළඟදී ශ්‍රී ලංකාවට ඇවිත් ගියා. අපි හැමෝම සහයෝගයෙන් කටයුතු කරනවා. මට කොහොමත් සහෝදර සහෝදරියන්ගෙන් සහයෝගයක් ලබාගන්න අවස්ථාවක් නෑ. නංගි අමෙරිකාවෙ උපාධිය හදාරනවා. එයා දැන් උපාධියෙ දෙවැනි අවුරුද්ද සම්පූර්ණ කරලා ලංකාවට ඇවිත් ඉන්නවා.

* දිගටම ශ්‍රී ලංකාවේ පදිංචි වීමටද බලාපොරොත්තු වෙන්නේ?


ශ්‍රී ලංකාව කියන්නේ මගේ මවු රට. මගේ කියන හැඟීම එන්නේ මේ රටේ ජීවත් වෙද්දියි. අපි අපේ ව්‍යාපාර කටයුතු කරගෙන මෙහෙ ඉන්නවා. ඒත් මම මවක් වුණ දවසක, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා බොහෝවිට අමෙරිකාවට යන්න ඉඩ තියෙනවා.

* ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ කතා කළොත්?


ගීත කිහිපයක් නිර්මාණය කිරීමට සූදානමින් සිටින්නේ. ඒත් ඒ සඳහා තවම දින වකවානු වෙන් කරගෙන නෑ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S